(අ)සම්පූර්ණ

මගේ උස අඩි 5 කි. ශරීරය කෙට්ටුය. පෙනුමෙන් කුඩාය. මුහුණේ රැවුලක් නැත. පපුවේ මවිල් නැත. මා කිසි තැනක කැපී පෙනෙන්නේ නැත. මා කාටවත් මතක හිටින චරිතයක් නොවේය. මා කිසිවෙකුටත් වරදක් කර නැතත් කිසිවෙක් මගේ හොඳක් නොදකී.
"හොඳ මිනිසුන් ගණන් ගැනීමකදී යමෙකුගේ නම සඳහන් නොවේද , ඔහුගේ මව ආත්ම ගණනාවක් වඳ ස්ත්‍රියක් වන්නේය"
මෙය සමහර විට බයිබලයේ එන කතාවකි. කතාව ඇත්තය. හැම වරදකටම හේතුව මගේ අම්මාය.
මා උපන් විගස මරා දැම්මා නම් මෙවන් අසම්පූර්ණ මිනිසෙක් ලොවට හිමි නොවන්නට ඉඩ තිබුණාය.
දෙමළෙක් උනත් ගිණුම් අංශයේ තවත් ලිපිකරුවෙක් වන ශිවාට මට වඩා පිළිගැනීමක් ඇත. ඔහු විහිළු කතා කීමේ දක්ෂයෙකි. කැඩිච්චි සිංහළෙන් ඌ කියන කතා වලට කට්ටිය බඩවල් අල්ලා ගෙන සිනාසෙයි. ඌ කියන විහිළුකතා-වල්කතා බොහොමයක් මා දන්නා ඒවා නමුත් ඒවා රසවත් විදියට ඉදිරිපත් කිරීමට හැකියාවක් මට නැත. මට සින්දුවක් තාලෙට  කියන්නට බැරිය. ට්‍රිප් එකක් යනකොට මට ඩ්‍රයිවර් ළඟ අසුන දෙන මගේ මිත්‍රයෝ රතයේ පසු පසට යයි. කන්ට-බොන්ට- ඇතිල්ලෙන්ට ඇත්තේ පිටුපසය. උන්ගේ සමාගමයට මා වැද්දා නොගනී. මට බොන්නටත් බැරිය. ඒ තියා සිගරට් එකක්වත් ස්ටයිල් එකට බීමට නොදනී. අනික් උන් බී, කරපු-කියපු විකාර ගැන පසුව උදම් අනයි. මට එවන් අත්දැකීම් නැත.
සුදු වේවැලක් ගත් මිනිසෙක් පාරේ යයි. අන්ධයෙකි. මට  දෑස් ඇත. ඒ මිනිසාට වඩා මා සම්පූර්ණය. මට වඩා අජූත උන් කසාද බැඳ ගෙන පවුල්-පන්සල් වී සතුටින් කල් ගත කරයි. මා උන්ට වඩා කඩවසම්ය. පදික වේදිකාවේ හිඟමන් යදින අපිරිසුදු මිනිසාට වඩා මගේ පෙනුම හොඳය. මට රැකියාවක් තිබේ. ඉන්නට ගෙයක් දොරක් තිබේ. කවදා හරි විශ්‍රාම වැටුපක්ද හිමිවේ. මා ඒ අතින්ද සම්පූර්ණය. මම එහෙම හිතා සිත හදා ගනිමි.

බලාපොරොත්තු නැති දවසක තාත්තා මනි ඕඩරයක් සමඟ ලිපියක් එවා තිබිණි. ඔහු හමුවන ලෙස ඉල්ලා ඇත. තාත්තා ගැන මට දුක සිතේ.
තාත්තා විශ්‍රාම ගොස්ය. එකම තැන දිගු කලක් සේවය කල  ඔහුට කාර්යාලයේ මිතුරු සේවකයන් යම් මුදලක් එකතුකර දී ඇත. තාත්තා මා රෙදි සාප්පුවකට ගෙන ගොස් කමිසයක් හා කළිසම් රෙද්දක් අරන් දුනි. පසුව මුස්ලිම් හෝටලයට ගොස් කෑමට ඉඳි ආප්ප අරන් දුනි. ඉඳි ආප්පයි-පරිප්පුයි. කෑවාට පසු ෆෘට් සැලඩ් ලැබුණේ නැත. තාත්තා මා කන අයුරු බලා සිටියා මිස කෑවේ නැත.
"පුතා.. මට යන්ට තැනක් නෑ. යාළුවො දුන්නු සල්ලි ටිකක් තියෙනවා. පෙන්ෂන් එක ලැබෙන තුරු ඒක පිරිමහ ගන්න පුළුවන්. මට පුතාලගේ ගෙදරට එන්න පුළුවන්ද.. අපි ගේ හදමු. මට ලොකු ගාණක් ලැබෙයි"
මගේ පපුව හෝස් ගා දැවී යන්නට විය.
අම්මා කැමැත්තක් හෝ අකමැත්තක් නැතුවම තාත්තා පිළිගත්තාය. පුළුවන්දාට බැරි දෙයක් නැත. බැරිදාට පුළුවන් දෙයක් නැත. මුදල් නෝට්ටු දුටු විට මැටියෙන් හැදූ බුදුන්ද සිනාසේ.
ලලිතා ගැබ් ගෙන ඇත. එයා කියන්නේ මගෙන් කියලාය. එහෙම වන්නට බැරිය. යන්ට ඉස්සෙල්ලා එළියට ගත්තා මට හොඳටම මතකය.
" දැන් කරන්න දෙයක් නෑ මට ගෙදරට මූණ දෙන්න බෑ. මොනවා හරි කරන්න ඕන. මට මේක තියාගන්න බෑ..වැල්ලවත්තේ දොස්තර කෙනෙක් ඉන්නවා. මිනිහා හාරදාහක් ගන්නවා"
හාරදාහක් තියා මා ළඟ එක සීයක්වත් නැත.
මා නිතරම කෙටි පිළිතුරු සොයන්නෙකි.
කාර්යාලයේ චෙක්පත් අස්සන් කරන්නේ ලොක්කා සහ ප්‍රධාන ලිපිකරුය. වසර ගණනාවක් ලද පරිචයෙන් උන් දෙන්නාගේම අස්සන් මට පුරුදුය.
චෙක් පොතකින් එකක් ඉරා ගෙන රුපියල් පන්දාකට වෙනත් කාගේද නමකට චෙක් එකක් ලියා අස්සන් කර පිටුපස , ලබන්නාගේ අස්සනද ලොක්කාගෙ අස්සනින්ම සහතික කර ගත් විට බැංකුවෙන් හැඳුනුම්පත් නොඉල්ලන බව පුරුද්දෙන් දනිමි.

මර්තේලිස් කොන්ත්‍රාත් බාස්ට වෙස්පා වර්ගයේ ස්කූටර් එකක් ඇත. දිනක් මා දුටුවේ මර්තේලිස්කාරයා ලලිතා පිටුපසින් නංවා ගෙන යන ආකාරයයි. දරුවා උගේ වෙන්න බැරිද? මං වගේ ගොන් හරකෙක්.

No comments:

Post a Comment